HomeEducation

දරුවන් කලට වෙලාවට නින්දට යවමු.

දරුවන් කලට වෙලාවට නින්දට යවමු.

නින්ද කියන්නේ අපේ ශරීරයේ පැවැත්මට වගේම අපේ ශරීරයේ නිවරදි ක්‍රියාකාරීත්වය සදහාත් අත්‍යාවශ්‍ය දෙයක්. මේ කාරණය කුඩා දරුවන්ටත් එකසේ බලපාන නිසාම දරුවන් නි

අවුරුදු තුනක බබෙක් ගැන ඉගෙන ගමු
ඔබේ දරුවාට හොඳ ම පෙර පාසල තෝරගන්න නම් මේ ගැන හිතන්න
ගර්භනී ඔබට වැදගත් වෙන tips කීපයක්

නින්ද කියන්නේ අපේ ශරීරයේ පැවැත්මට වගේම අපේ ශරීරයේ නිවරදි ක්‍රියාකාරීත්වය සදහාත් අත්‍යාවශ්‍ය දෙයක්. මේ කාරණය කුඩා දරුවන්ටත් එකසේ බලපාන නිසාම දරුවන් නිසි වේලාවට නින්දට යැවීම වඩාත් වැදගත් කාරණයක් වෙනවා.

නමුත් කුඩා දරුවන් සිටින දෙමාපියන් හොදින්ම දන්නා ආකාරයට දරුවන් නිසි වෙලාවට නින්දට යැවීම ඒ තරම් පහසු කාරණයක් වෙන්නේ නැහැ. ඉතින් අද ලිපියෙන් අපි කතා කරන්නේ ඒ ගැනයි. නින්දේ ඇති ඔබ මෙතෙක් නොදැන සිටි වැදගත්කම ගැන වගේම දරුවන් නිසි වෙලාවට නින්දට හුරු කරවන්නේ කොහොමද කියන කාරණය ගැනත් තවත් වැදගත් කරුණු රාශියක් ගැනත් අපි අද ලිපියෙන් කතා කරමු.

දරුවන්ට ප්‍රමාණවත් නින්දක් අවශ්‍ය වෙන්නේ ඇයි?

අපි කලින් කතා කලා වගේම දරුවන්ගේ ශාරීරික සහ මානසික සෞඛ්‍යය යහපත්ව පවත්වාගෙන යාම සදහා නින්ද අත්‍යාවශ්‍ය වෙනවා. ඒ වගේම ඔවුන්ගේ මතක ශක්තිය වර්ධනය කිරීම, දහවල් කාලයේ සිදුවූ යම් යම් සිදුවීම් නිසා කායිකව සහ මානසිකව ඇති වූ පීඩා මග හරවා ගන්නටත් නින්ද ලබා දෙන්නේ විශාල සහයෝගයක්.

ඒ වගේම තමයි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සදහාත් ප්‍රමාණවත් නින්දක් තුලින් සුවිශේෂී වාසි රැසක් අත් වෙනවා. යමකට හොදින් අවධානය දීමේ හැකියාව, ගැටළු විසදීමේ හැකියාව වගේම නිර්මාණශීලීත්වය යන කුසලතා වර්ධනය වීමත් සුවපහසු නින්දකින් දරුවෙකුට ලැබෙන වාසි අතර කිහිපයක් පමණයි.

ඇමරිකානු ළමා රෝග වෛද්‍යවරුන්ගේ අධ්‍යන ආයතනය 2021 වසරේදී පෙන්වා දි ඇති ආකාරයට

  • අවුරුදු 1 කට අඩු දරුවෙකුට දිනයකට පැය 12 – 16 අතර කාලයක් දක්වා නින්දක්ද
  • අවුරුදු 1 සිට 2 දක්වා දරුවන්ට පැය 11 – 14 අතර කාලයක් දක්වා නින්දක්ද
  • අවුරුදු 3 සිට 5 දක්වා දරුවන්ට පෑය 10 – 13 අතර කාලයක නින්දක්ද
  • අවුරුදු 6 සිට 12 දක්වා දරුවන්ට පැය 9 -12 අතර කාලයක නින්දක්ද අවශ්‍ය වෙනවා.

දරුවන් නිසි වෙලාවට නින්දට යැවීම අභියෝගාත්මක වන්නේ ඇයි?

දරුවන්ට සුව පහසු නින්දකින් ලැබෙන වාසි සහ ප්‍රයෝජන ගැන දෙමාපියන් දැනුවත් වුනත් දරුවන් නිසි වෙලාවට නින්දට යැවීම පිළිබදව බොහො දෙනෙකුට තිබෙන්නේ විශාල ගැටළුවක්. වඩාත් විඩාබර දවසක් අවසානයේ දෙමාපියන්ට සුවපහසු නින්දක් අවශ්‍ය වූවත්, දරුවන් නින්දට සූදානම් නොවීම නිසා නිවස තුල ප්‍රශ්ණකාරී තත්වයක් ඇති වෙන්නට පුළුවන්. මේ තත්වය වලක්වාගැනීමට අනුගමනය කල හැකි ටිප්ස් කිහිපයක් ගැන අපි දැන් කතා කරමු.

01. දහවල් කාලය තුල දරුවන් සමග කාලය ගත කරන්න. ඔවුන් සමග කතා කරන්න. ඔවුන් අගය කරන්න. දරුවන් සමග ගත කරන හැම මොහොතක්ම ධනාත්මකව ගත කරන්නට වග බලා ගන්න.

02. දරුවන් නිදා ගන්නා කාමරය තුලට ජංගම දුරකථන, ටැබ්ලට් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංග කිසිවක් ගෙන ඒමෙන් වලකින්න. නින්දට පෙර පරිඝනකය හෝ රූපවාහිණිය භාවිතයට ලබා දීමත් සුවදායී නින්දකට බාධාවක් වෙනවා.

03. ත්‍රාසජනක කතා හෝ බියජනක චිත්‍රපට දරුවන්ට කීමෙන් හෝ නැරඹීමට ලබා දීමෙන් වලකින්න. එවැනි දේවල් නිසා දරුවන් තනිවම නිදා ගැනීමට බිය වීම හෝ නින්දෙන් ගැස්සී අවදිවීම වැනි නින්දට බාධා සිදු වෙන දෙවල් සිදු වෙන්නට පුළුවන්.

04. දරුවාට නිසි දින චර්‍යාවක් නොමැති වීමත් පවුලේ සාමාජිකයන් එකට එක්ව නිදා නොගැනීමත් නිසා දරුවා නිසි වෙලාවට නිදා ගැනීම ප්‍රතික්ෂ්පේප කරන්නට පුළුවන්.

දරුවන් නිසි වෙලාවට නින්දට යැවීමට උපකාරී වෙන උපාය මාර්ග.

01. දරුවන්ට නින්දට යාම සදහා දින චර්යාවක් සකස් කරන්න. ඔබේ දරුවාගේ වයස අනුව දරුවා කොපමණ වේලාවක් නිදා ගත යුතුද යන්න ඔබට තීරණය කරන්නට පුළුවන්. ඒ අනුව කුඩා වයසේ සිටම නින්දට යාම සදහා එකම වෙලාවක් වෙන් කරගන්න. එම වෙලාව ලං වන විට දරුවාගේ ඇග සෝදවා, දත් මැදීම ඇතුළු කටයුතු සියල්ල සිදු කර නිදන ඇදුම අන්දවා දැන් නිදා ගන්නා වෙලාව බව දරුවාට අගවන්න. තරමක් වැඩුණු දරුවන්ට නින්දට පෙර දෙමාපියන් සමග කුඩා කතා බහක් සිදු කර ඉන්පසුව නිදා ගැනීමට ඉඩ සලස්වන්න. මෙවැනි දින චර්යාවකට දරුවන් අනුගත කර වීම දෙමාපියන්ගේත් දරුවන්ගේත් කායික සහ මානසික සෞඛ්‍යය යහපත්ව පවත්වා ගෙන යාමට අතිශයින් වැදගත් වෙනවා.

02. නින්දට පෙර සංගීතකයට සවන් දීමට, පොතක් කියවීමට දරුවන්ට හුරු කරවන්න. මෙම කාලය තුල දරුවන් සමග රැදී සිටිමින් ඔවුන් නින්දට සූදානම් කරවන්නට දෙමාපියන්ට පුළුවන්.

03. වයස අවුරුදු 3 – 4 වන තුරු දරුවන් දිවා කල නිදා ගැනීම සාමාන්‍යෙන් සිදු වෙනවා. දරුවෙක් දිවා කල නිදා ගන්නේ නම් එම කාලය මිනිත්තු 20 කට පමණ සීමා කිරීම වඩාත් වැදගත් වන අතර රාත්‍රී නින්දට හැකි තරම් වේලාසන දිවා නින්ද දරුවාට ලබා දෙන්න.

04. දරුවා නින්දට යැවීමට පෙර ප්‍රමාණවත් තරම් ආහාර ලබා දීමට වග බලා ගන්න. ශක්තිජනක පානයන්, කෝපි, තේ, චොකලට්, කෝලා වැනි ආහාර පාන රාත්‍රී කාලය තුල දරුවන්ට ලබා දීමෙන් වලකින්න. ඒවගේම දරුවාගේ නිදන කාමරය තුල ආලෝක තත්වය යහපත්ව තබා ගන්න. දරුවාට සුවපහසු නිදන කාමරයක් ලබා දීම දෙමාපියන්ගේ වගකීමයි.

ඉහත සදහන් කල කරුණු අනුගමනය කිරීමෙන් කුඩා දරුවන් නිසි වෙලාවට නින්දට යවන්නත්, ඔවුන්ගේ කායික සහ මානසික සෞඛ්‍යය ආරක්ෂා වන ආකාරයට කටයුතු කරන්නත් ඔබට පුළුවන්. MA Think School අපේ ෆේස්බුක් පේජය එක්ක වගේම යූ ටියුබ් චැනලය සමගත් දිගින් දිගටම රැදී සිටින ඔබට මේවගේ වැදගත් කරුණු රාශියක් දිනපතා ඉගෙන ගන්නට පුළුවන්. ඉතින් ඒ මතක් කිරීමත් සමගින් අද ලිපියෙන් අපි සමු ගන්නවා නැවතත් හමුවෙන බලාපොරොත්තුව සහිතව.

Author: Ishanka Abeysinghe
Content Editor: Amali Samarakoon

Share this:
error: Content is protected !!