ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරය තුළ ඵලදායී ප්‍රගතීන් ලැබී ඇති බව චීනය පවසයි.දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් ව
ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරය තුළ ඵලදායී ප්‍රගතීන් ලැබී ඇති බව චීනය පවසයි.
දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු සිදු කළ ප්‍රථම චීන සංචාරය මෙය වූ අතර, ඉන් චීන-ශ්‍රී ලංකා සබඳතාවට වැදගත්කමක් එක් කළ බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ(17) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.
පසුගිය 15 වැනි දා රාජ්‍ය නායකයන් දෙදෙනා හමුවූ අවස්ථාවේදී දෙරට උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය තහවුරු කරමින් හවුල් අනාගතයක් සහිත චීන-ශ්‍රී ලංකා මානව ප්‍රජාවක් ගොඩනැංවීමට ද එකඟතා පළ කළහ. දෙරට විසින් නිකුත් කෙරුණු ඒකාබද්ධ නිවේදනය මගින් දිසානායක මහතාගේ මෙවර චීන සංචාරයේ සාධනීය ප්‍රගතීන් පිළිබිඹු කෙරෙන බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් ඊයේ (17) රාත්‍රියේ දිවයිනට පැමිණීයා.
චීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය වූ අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි (Wang Xiaohui) මහතා අතර හමුව සිදු විය. ඉන් අනතුරුව ජනාධිපතිවරයා චීනයේ සිචුවාන්හි චෙන්ග්ඩු ප්‍රදේශයේ පිහිටි ඩොංෆැන්ග් විදුලි සංස්ථාවේ (Dongfang Electric Corporation) නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
සිය සිව් දින චීන රාජ්‍ය සංචාරයේ අවසානය සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, බිම් මට්ටමේ තිරසාර සංවර්ධනය තුළින් ග්‍රාමීය පුනර්ජීවනය නිරූපණය කරන ආදර්ශ ගම්මානයක් වන ෂැන් කි ආදර්ශ ගම්මානය සහ ජාතික විද්‍යා, තාක්ෂණ හා කෘෂිකර්ම මධ්‍යස්ථානය නැරඹීමට ගියේය.
ජනාධිපතිවරයා චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාත් ලේකම්වරයාට ඇයුම් කර ඇත්තේ බලශක්ති ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සිචුවාන් පළාත ලබා ඇති ජයග්‍රහණ ශ්‍රී ලංකාව සමඟ බෙදා හදා ගන්නා ලෙසයි.
මේ වනවිට ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවර වෙමින් පවතින බවත්, විනිවිදභාවයෙන් යුත් පාලනය තුළ ආයෝජන සදහා ඉතා හිතකර පරිසරයක් නිර්මාණය වී තිබෙන බවත් ජනාධිපතිවරයා ඔහුට පෙන්වා දී තිබුණි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහනය , මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරු ද මෙම අවස්ථාවන්ට එක් වූහ.