HomeEducation

පසු ප්‍රසව විශාදයේ (Postpartum) ගොදුරක් වෙන්න කලින් ඒ ගැන දැනගන්න.

පසු ප්‍රසව විශාදයේ (Postpartum) ගොදුරක් වෙන්න කලින් ඒ ගැන දැනගන්න.

අලුත් දරුවෙක් පවුලකට එකතු වෙනවා කියන්නේ අම්මා තාත්තට ලෝකයක් ලැබුණා වගේ. හැමෝම පුන්චි දරුවව බලා ගන්නේ ඇහැක් වගේ. ඒත් මේ හැමෝටම දරුවගේ අම්මව නම් අමතක ව

දරුවන් කලට වෙලාවට නින්දට යවමු.
නව යොවුන් විය භයානක ද?
ගර්භනී ඔබට වැදගත් වෙන tips කීපයක්

අලුත් දරුවෙක් පවුලකට එකතු වෙනවා කියන්නේ අම්මා තාත්තට ලෝකයක් ලැබුණා වගේ. හැමෝම පුන්චි දරුවව බලා ගන්නේ ඇහැක් වගේ. ඒත් මේ හැමෝටම දරුවගේ අම්මව නම් අමතක වෙනවා. හිතන්න, කෙනෙක්ගේ ඔපරේෂන් එකක් කළොත් ඊට පස්සේ කොච්චර පරිස්සම් වෙනවද? කිසිම වැඩක් කරන්න දෙන්නේ නැතිව අපි ඒ කෙනාව බලාගන්නවා නේද? දරුවෙක් බිහි කරපු අම්මා කෙනෙකුත් ඔපෙරේෂන් එකක් කරපු රෝගියෙක් වගේ ම තමයි. ඒත් එයාට අපි එතරම් අවධානයක් දෙන්නේ නැහැ නේද? මෙන්න මේ අඩු අවධානය වගේම තවත් හේතු ගොඩක් නිසා මවක් පසු ප්‍රසව විශාදයේ ගොදුරක් වෙන්න පුළුවන්. ඒක වෙන්නේ කොහොමද සහ පසු ප්‍රසව විශාදය ගැන තවත් වැදගත් තොරතුරු ගොඩක් ගැන මේ ලිපියෙන් ඔයාලට දැනගන්න පුළුවන්.

මොකක්ද මේ පසු ප්‍රසව විශාදය කියන්නේ?

 ඉස්සර කාලේ ගම්වල නම් මේකට වැදුම්ගෙයි සන්නිය කියලත් කීවා. තොවිල් පවිල් කරලා මේක හොඳ කරන්න පුළුවන් කියලා හිතන අය අදත් නැතුව නෙවෙයි. ඒත් ඒක සාර්ථක නැහැ. පසු ප්‍රසව විශාදය කියන්නේ; අලුතින් දරුවෙකු බිහි කරපු මවකට අත්විඳින්න වෙන විවිධ ශාරීරික, මානසික, පාරිසරික වෙනස්කම් නිසා ඇතිවන මානසික පීඩන තත්ත්වයක්. සමහරුන්ට මේක සුළුවෙන් ඇති වෙන්න පුළුවන්. ඒත් තවත් සමහරුන්ට අධික විශාද තත්ත්වයක් ඇති වෙලා ජීවිත හානි පවා වෙන්න පුළුවන්.

පසු ප්‍රසව විශාදය හැදෙන්නේ ඇයි?

දරුවෙකු බිහි කරන විට මවගේ ශරීරයේ හෝර්මෝන ක්‍රියාකාරීත්වයේ සිදුවෙන වෙනස්කම් මේකට ප්‍රධානවම බලපානවා. ඒවගේම දරුවා ලැබුණම මවට පැවරෙන විශාල වැඩ ප්‍රමණයත් ඒ වැඩ කරගන්න උදව්වක් නැතිවීමත්, මවගේ අමාරුකම් ගැන සොයාබලන්නේ නැතිවීමත් නිසා මව මානසිකව වැටෙනවා. මවට කිරි එරෙනවා අඩුනම්, දරුවාගෙ බර අඩු නම් හැමෝම මවට චෝදනා කරනවා. මේ හැමදේම දරාගන්න අමාරු වුණාම මව විශාදියට පත් වෙන්න පුළුවන්.

පසු ප්‍රසව විශාදය සුළුවෙන් හිතන්න හොඳ නැත්තේ ඇයි

මේකේ සුළු, මධ්‍යම හා උග්‍ර කියලා විවිධ අවස්ථා  නැත්නම් Stages තියනවා. ගැටළු අධික පරිසරයක ඉන්න මවක් සුළු විශාදි තත්ත්වයක ඉඳලා ඉතා ඉක්මනින් ම උග්‍ර විශාදි තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒනිසා මේ ගැන සුළුවෙන් හිතන්න හොඳ නැහැ. ගොඩක් දෙනා මේ වගේ තත්ත්වයක් තමාට හෝ තමන්ගේ සමීප කෙනෙකුට තියනවා කියලා කියන්න මැළි වෙනවා. ඒ නිසා විශාදය වැඩි මට්ටමට ඇවිත් බරපතල වෙන්න පුළුවන්. 

මව විශාදි තත්ත්වයට පත් වුණාම මව සහ දරුවා අතර හොඳ බැඳීමක් ගොඩනැගෙන්නේ නැහැ වගේම මව අතින් දරුවාගේ වැඩ කටයුතුත් අතපසු වෙනවා. එතකොට දරුවට අවශ්‍ය ආදරය මවගෙන් ලැබෙනේ නැහැ. මේක දරුවාගේ මානසික, ශාරීරික වර්ධනයට සහ අනාගතයට අහිතකර වෙනවා. 

නිතර කේන්තියෙන්, කනස්සල්ලෙන් ඉන්නකොට සැමියා සහ බිරිඳ අතරත් ආරවුල් ඇති වෙලා පවුල බිඳී යන්නත් පුළුවන්.

උග්‍ර විශාදි තත්ත්වයට පත් වුනාම මව දරුවාට හෝ තමාට ම කරදරයක් කරන්නත් පුළුවන්. ඒ නිසා මේ ගැන සුළුවෙන් හිතලා නොසලකා හරින එක අවසානයේ භයානක ප්‍රතිඵල ගෙන දෙන්න පුළුවන්.

පසු ප්‍රසව විශාදයේ ලක්ෂණ

දැන් අපි බලමු මේ පසු ප්‍රසව විශාදයට ගොදුරු වුණු කෙනෙකුගේ ලක්ෂණ මොනවද කියලා.  මෙන්න මේ ලක්ෂණ තියනවා නම් ඒ පුද්ගලයාට පසු ප්‍රසව විශාදය තියනවා කියලා සැක කරන්න පුළුවන්.

  • නිතර ඇඬීම සහ දුක්බරව සිටීම
  • ශරීරයට දැඩි වෙහෙසක් දැනීම
  • කෑම අරුචිය
  • නින්ද නොයෑම
  • ජීවිතය එපා වීම
  • දරුවා ගැන ඕනව්ට වඩා කණගාටු වීම හා බිය 
  • නිතර කෝපයට පත් විම හා නුරුස්සන සුළු ගතිය
  • ඇතැම් මව්වරුන්ට සියදිවි නසා ගැනීමේ සිතුවුලි ඇති වීම
  • කලාතුරකින් දරුවා ඝාතනය කිරීමට සිතුවිලි ඇති වීම

මේ වගේ ලක්ෂණ තියන හැම කෙනාටම විශාදය නැති වුණත් මේ ලක්ෂණ තියනවා නම් ඒ ගැන නොසලකා ඉන්න එපා. ඔබ අලුත් මවක් නම්, ඔබට මේ ලක්ෂණ තියනවා නම්, මේ වගේ සිතුවිලි ඇති වෙනවා නම් ඒ ගැන කලබල නොවී වෛද්‍යවරයකු හමු වෙන එක තමයි සූදුසුම දෙය. 

පසු ප්‍රසව විශාදය වළක්වගන්නේ කොහොමද?

ලෙඩක් හැදුනම බෙහෙත් කරනවට වඩා ලෙඩක් හැදෙන්න නොදී වළක්වගන්න වඩාත් හොඳයිනෙ නේද? ඉතින් පසු ප්‍රසව විශාදය නොහැදී ඉන්න නම් මෙන්න මේ දේවල් ඔයාට කරන්න පුළුවන්. 

  • දරුවෙකු හදන්න ඕන කරන ආර්ථික, මානසික සහ ශාරීරික අවශ්‍යතා සම්පූර්ණ වුණාම හොඳ ම කාලෙදි දරුවෙක් හදන්න.
  • ‘මහත්තයා බීලා ඇවිත් ගහනවා’ නැත්නම් ‘බිරිඳ සහ සැමියා අතර අඩදබර තියනවා’ නම් “දරුවෙක් හැදුවම හැමදේම හරියයි” කියලා ප්‍රශ්නයකට විසඳුමක් විදියට දරුවන් හදන්න එපා.
  • දරුවා ගැන වගේම තමන්ගේ මානසික සහ ශාරීරික සෞඛ්‍ය ගැනත් හිතලා ඔබත් සෞඛ්‍යමත්ව ඉන්න. 
  • දරුවාගේ වැඩ කටයුතු බෙදාගෙන සහයෝගයෙන් කරලා විවේකයක් ලබන්න
  • . ඔබට පෝෂණය කරන්න, රැකබලා ගන්න පුළුවන්  ප්‍රමාණයට පමණක් දරුවන් හදන්න. 

උදව් ඉල්ලන්න මැළි නොවී ප්‍රතිකාර ගන්න

පසු ප්‍රසව විශාදය කියන්නේ සුව කරන්න පුළුවන් තත්ත්වයක්. එනිසා ඔබට හෝ ඔබේ සමීපතමයෙකුට පසු ප්‍රසව විශාදය කියලා සැකයක් තියනවා නම් මනෝ වෛද්‍යවරයෙක් හමු වෙලා ප්‍රතිකාර ගන්න දෙපාරක් හිතන්න එපා. එක් වරක් මේ තත්ත්වය ඇති වුණු කෙනෙකුට නැවත දරු උපතකදී මෙය ඇති වෙන්න තියන ඉඩ වැඩියි. ඒවගේම පසු ප්‍රසව විශාදය හැදිලා හොඳ වුණු ගමන් ම නැවත දරුවකු හදන එකත් සුදුසු නැහැ. මේ සියල්ල වෛද්‍ය උපදෙස් මත කළොත් ඔබට සාර්ථක පවුල් ජීවිතයක් ලබා ගන්න පුළුවන් වේවි.

Author: Samuditha Fernando
Content Editor: Amali Samarakoon

Share this:
error: Content is protected !!
×