රටෙන් සොරා ගෙන ඇති ධනය හා සම්පත් ආපසු අත්පත් කරගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකර, එලෙස අහිමි වූ ආදායම ජනතාවගෙන් අයකර ගැනීමේ අසාධාරණය වැඩපිළිවෙලක් ක්‍රියාවට නගමින් සිටින බවට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, අද ආණ්ඩුවට චෝදනා කළා. රට බංකොලොත් කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීන්දුවක් ලබාදී තිබියදි ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් නිහඩව සිටීම බරපතල ගැටළුවක් බවයි ඔහු පෙන්වා දුන්නේ.
විපක්‍ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මෙම ප්‍රශ්න කිරීම සිදුකළා.
ගෝඨාභය රාජපක්‍ෂ, මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ, අජිත් නිවාඩ් කබ්රාල්, පී.බී.ජයසුන්දර, එස්.ආර්.ආටිගල, ඩබ්ලිව්. ඩී. ලක්‍ෂ්මන්, සමන්ත කුමාර යන අය මෙම ආර්ථික අර්බුදයට වගකිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණා. ඒ සමඟි ජනබලවේගය විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.
ඒ අනුව ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේ, මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මඟින් හොරු කවුදැයි නිශ්චිතව ප්‍රකාශ කර ඇති බවයි. මෙය ඉතා පැහැදිලි තීන්දුවක් වන බවද තීන්දුව ලබාදී මාස 02 ක කාලයක් ගත වී තිබුණද ආර්ථික ඝාතකයින් සම්බන්ධයෙන් පියවර ගැනීමේ සූදානමක් හෝ පෙනෙන්නට නැති බව ද ඔහු ප්‍රකාශ කළා. එබැවින් මේ පිළිබඳ නැවත විමසා සිටින්නට තමන්ට සිදුවන බව පැවැසූ විපක්‍ෂ නායකවරයා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේ විශේෂ ජනාධිපති කොමිෂමක් යටතේ මේ පිළිබඳ අධ්‍යයනයක් සිදුකර ඉහත පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නේ ද යනුවෙනි.
එමෙන්ම මොවුන් රට බංකොලොත් කිරිම මඟින් පෞද්ගලික ප්‍රතිලාභ ලබාගෙන තිබෙන්නේ ද යන්න සම්බන්ධයෙන් ද පරීක්‍ෂණ සිදුකළ යුතු බව ද විපක්‍ෂ නායකවරයා කියා සිටියා. හොරකම් කළ ඇමරිකානු ඩොලර් බිලියන 56 ක නීතිමය මැදිහත්වීම් ඔස්සේ නැවත ලබාගැනීමට පියවර නොගෙන, එම අලාභය ජනතාවගේ හිස මතින් පියවා ගැනීමේ වෑයමක ආණ්ඩුව නිරත වන බවටද ඔහු චෝදනා කළා.
එමෙන්ම මෙම නඩු තීන්දුව පදනම් කරගනිමින් ලක්‍ෂ 220 ක් වූ ජනතාවට ඉහත පුද්ගලයින්ගෙන් වන්දි ලබාගැනීමේ අවස්ථාවක් පවතින බව ද ජනතාවට එම අයිතිය දිනා දීම වෙනුවෙන් තමන් ඇතුළු සමඟි ජනබලවේගය පෙනී සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ඩො. බිලියන 56 ක් කොල්ල කාලා – ගෝඨා, මහින්ද, බැසිල් ඇතුළු පිරිසට දඩුවම් නැද්ද ?