HomeHealth

ADHD ගැන ඉගෙනගමු

ADHD ගැන ඉගෙනගමු

ADHD වලට හරියට ප්‍රතිකාර කළේ නැත්තං මේ දරුවන් තරුණ වයසෙදි මත් ද්‍රව්‍ය වලට, මත්පැන්වලට, පාසල් හැරයාම, වාහන අනතුරු වගේ අවාසනාවන්ත තත්ත්වයන්ට පත් වෙන්න පුළුවන්.

අවුරුදු තුනක බබෙක් ගැන ඉගෙන ගමු
ඔබේ දරුවාට හොඳ ම පෙර පාසල තෝරගන්න නම් මේ ගැන හිතන්න
මිනිස් මතකය ගැන ඔබ දැනගත යුතුම දේවල්…

ADHD  කියන්නේ අද කාලේ දරුවන් අතර දකින්න පුළුවන් සුලබ තත්ත්වයක්. හරියට ප්‍රතිකාර කළේ නැත්තං මේ දරුවන් තරුණ වයසෙදි මත් ද්‍රව්‍ය වලට, මත්පැන්වලට, පාසල් හැරයාම, වාහන අනතුරු වගේ අවාසනාවන්ත තත්ත්වයන්ට පත් වෙන්න පුළුවන්. මේ ලිපියෙන් කතා කරන්නේ ADHD  හඳුනාගැනීම ප්‍රතිකාර කිරීම  සහ සමාජගතවී තියෙන දුර්මත සම්බන්ධවයි.

1990 දශකයේ මුලින්ම මේ  තත්ත්වය හැදින්වූයේ ADD (Attention Deficit Disorder)  යනුවෙන් නමුත් පස්සෙ කාලෙක  මෙය ADHD  එහෙමත් නැත්නම් Attention Deficit Hyperactive Disorder  කියලා හඳුන්වන්න පටන් ගත්තා.  ADHD නිට්ටාවට සුව කරන්න බැහැ. නමුත් මේ තත්ත්වය අපි කලින් හඳුනා ගත්තොත් ප්‍රතිකාරවලට යොමු වුණොත් තත්ත්වය පාලනය කරන්න පුළුවන්. 

ADHD කියන්නේ දරුවාගේ අධ්‍යාපන කටයුතු, වෘත්තීයමය ජීවිතයට,  සම්බන්ධතා වලට,  එදිනෙදා කටයුතුවලදී සෘජුවම බලපාන නිදන්ගත රෝගයක්. ඒ කියන්නේ රෝග ලක්ෂණ  වසරක් හෝ ඊට වැඩි කාලයක් පවතින වෛද්‍ය උපදෙස් අවශ්‍ය කරන, දෛනික කටයුතුවලට බලපාන සෞඛ්‍යමය ගැටලු. 

ADHD  හඳුනාගන්නේ කොහොමද?

මූලිකවම ADHD  කාණ්ඩ තුනකට වෙන් කරන්න පුළුවන්.

  1. Attention Deficit –  අවධානය යොමු කිරීමේ අපහසුතාවය
  2. Hyperactivity and Impulsivity –    අධික්‍රියාකාරීත්වය සහ ආවේගශීලී  බව 
  3. Combination of both – ඉහත ලක්ෂණ දෙකම එකවර පෙන්වීම

Attention Deficit –  අවධානය යොමු කිරීමේ අපහසුතාවය

  • සැලකිය යුතු කාලයක්  තුළ දී අවධානය යොමු කිරීමේ හා පවත්වාගෙන යෑමේ අපහසුතාවය.
  • නොසැලකිලිමත් බව.   විශේෂයෙන්ම පාසැල් වැඩ වලදී සුළු වැරදි කිරීම.
  • විස්තර කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමේ අපහසුතාව.
  • උපදෙස් පිළිපැදීමේ අපහසුතාවය.
  • තමන්ව අමතන විට සෘජුව පිළිතුරු නොදීම. අසන ප්‍රශ්න වලට අවධානය නොදීම.

Hyperactivity and Impulsivity –    අධික්‍රියාකාරීත්වය සහ ආවේගශීලී  බව 

  • නිශ්චල ව සිටීමට අපහසු බව නිතරම කුමක් හෝ ක්‍රියාවක නිරත වීම (උදාහරණයක් ලෙස –  මේසයට තට්ටු කිරීම, දැඟලීම, පුටුවෙන් නැගිටීම, ඇවිදීම, උස් තැන් වලට නැගීම, බිමට පැනීම, දිවීම)
  • තමාගෙන් වාරය එන තෙක් බලා සිටීමට අපහසු බව.
  • තව කෙනෙක් සමග කතා කරන විට ඒ අයගේ කතාවට බාධා කිරීම, ඔවුන්ට වාක්‍ය සම්පුර්ණ කිරීමට ඉඩ නොදීම. ප්‍රශ්නය සම්පුර්නයෙන් ඇසීමට පෙර පිළිතුරු දීම.
  • තමන්ගේ පොත්පත් ලිපි ද්‍රව්‍ය නිතරම නැතිකර ගැනීම.

Combination of both – ඉහත ලක්ෂණ දෙකම එකවර පෙන්වීම

ඉහත කාණ්ඩ දෙකෙන් එකකට අදාළ ADHD දරුවන් සමාජයෙන් සුලබ වුනත් ලක්ෂණ දෙකම එකවර පෙන්වන ADHD දරුවන් කලාතුරකින් දකින්න පුළුවන්. 

ADHD නිසා ඇතිවන දුෂ්කරතා 

  • නිසි කලට, නිසි ලෙස කාර්යක් කිරීම අපහසුයි.
  • කාර්යන් සංවිධානාත්මකව කිරීම අපහසුයි.
  • තමන්ට අයිති බඩුමුට්ටු පරිස්සම් කරගැනීමට අපහසුයි.
  • අපිළිවෙල සහ අසංවිධානාත්මක බව.
  • පහසුවෙන් අවධානය බිඳී යෑම.
  • දෛනික කටයුතු සහ ක්‍රියාකාරකම් අමතක කරයි.
  • කාල කළමනාකරණය අපහසුයි.

 මේ ලක්ෂණ දීර්ඝ කාලයක්, ඒ කියන්නේ මාස 6ක් හෝ ඊට වැඩි කාලයක්, එකිනෙකට වෙනස් පරිසර තත්ත්ව දෙකකදිවත් පෙන්නවනවා නම්, දරුවාගේ වයස අවුරුදු 12ට වඩා අඩුයි නම්, දරුවට එදිනෙදා කටයුතු, පාසලේ වැඩ කරගන්න අපහසුයි නම්, ඒ දරුවා ADHD තියෙන දරුවෙක් කියල සැක කරන්න පුළුවන්. 

එහෙම තත්වයකදී අපිට කරන්න පුළුවන් එකම හා හොදම දෙය තමයි දරුවාව ADHD සම්බන්ද වෛද්‍යවරයෙකුට පෙන්වන එක. දරුවට ඇත්තටම ADHD තියෙනවද? ප්‍රතිකාර කරන්න ඕනේ මොන විදියටද කියන එක තීරණය කරන්න පුළුවන්  වෛද්‍යවරයෙකුට විතරයි. වෛද්‍යවරයා නිගමනයකට එන්න කලින් දෙමාපියන්, ගුරුවරුන්, පාසලේ වැඩ වල  ප්‍රගතිය වගේ ගොඩක් දේවල් සොයබලනවා.

ADHD ඇතිවීමට හේතු 

නවීන වෛද්‍ය විද්‍යාව කොයිතරම් දියුණු උනත් තාම ADHD ඇතිවෙන්න නිශ්චිත හේතුවක් හොයාගෙන නෑ. නමුත් පහත කාරණා ADHD ඇතිවීමේ ප්‍රවනතාවය වැඩි කරනවා කියල පර්යේෂණ මගින් ඔප්පු කරලා තියෙනවා.

  • ජානමය තත්වයන්
  • මොලය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම
  • මොලය සම්බන්ද දරුණු තුවල සිදුවීම
  • නොමේරූ දරු උපත්
  • ගර්භනී කාලයේදී දුම්වැටි, මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය 

ADHD සම්බන්ධ මිත්‍යා මත 

  • මිත්‍යාව: ADHD කියන්නේ  සැබෑ තත්වයක් නොවේ.
  • සත්‍යය : ADHD කියන්නේ විද්‍යාත්මකව ඔප්පු කරන ලද වෛද්‍ය තත්වයකි.
  • මිත්‍යාව: ADHD ඇති දරුවන්ට අවශ්‍ය වන්නේ දැඩි උත්සාහයක් පමණි.වෛද්‍ය ප්‍රතිකාර නොවේ.
  • සත්‍යය: ADHD කියන්නේ අභිප්‍රේරණයේ හෝ කම්මැලිකමේ ගැටලුවක් නොවේ. එය ඇති ළමයින් සහ වැඩිහිටියන් සාමාන්‍යයෙන් අවධානය පවත්වා ගැනීමට හැකි තරම් උත්සාහ කරති.
  • මිත්‍යාව: ADHD සහිත දරුවන්ට කිසිදා අවධානය යොමු කළ නොහැක.
  • සත්‍යය: ADHD සහිත දරුවන්ට වැඩි වශයෙන් අවධානය යොමු කිරීමේ ගැටළු තියෙන බව ඇත්ත. නමුත් එයාලා  යම් දෙයක් ගැන දැඩි උනන්දුවක් දක්වනවා නම්,  ඒ දෙය ගැන දැඩි ලෙස අවධානය යොමු කළ සමත්. එම තත්වය අධි අවධානය (Hyper-Focus) කියල හදුන්වනවා.
  • මිත්‍යාව: ADHD ඇතිවන්නේ පිරිමි ළමයින්ට පමණි.
  • සත්‍යය: සාමාන්‍යයෙන්, පිරිමි ළමයින්ට  ADHD ඇතිවීමේ සම්භාවිතාව ගැහැණු ළමයින් මෙන් දෙගුණයකටත් වඩා වැඩියි. නමුත් එකෙන් කියන්න බෑ මේ තත්වය ගැහැණු දරුවන්ට ඇතිවෙන්නේ නෑ  කියල. කොහොම උනත්  ADHD සම්බන්ධව ගැහැණු ළමයින් සාමාන්‍යයෙන් නොසලකා හැරීමට සහ හඳුනා නොගෙන සිටීමට වැඩි ඉඩක් තියෙනවා.

MA Think School (MATS)

මම  අමාලි සමරකෝන්. පූර්ව ළමාවිය  සංවර්ධනය- Early Childhood Education, ළමා මනෝ විද්‍යාව-Child Psychology,  දෙමාපියකරණය-Parenting ගැන වැඩිදුර හදාරන, අවුරුදු හතකට ආසන්නව මවක් විදියට අත්දැකීම් තියෙන කෙනෙක්.

 මේ කාලය ඇතුළත මට තේරුන ප්‍රධාන දෙයක් තමයි  දෙමව්පියන් විදියට අපි දරුවන්  එක්ක හැසිරෙන්න ඕන ආකාරය (දෙමාපියකරණය) ගැන ලංකාවේ අපි දන්නේ නැති බව.  ඒ නිසා මම ඒ ගැන දැනුම සොයන්න පෙළඹුණා. ගොඩක් වෙලාවට දෙමාපියකරණය ගැන පර්යේෂණ කරන්නේ බටහිර රටවල්. ශාස්ත්‍රීය ලිපි,  පොත්පත්,  සාකච්ඡා තියෙන්නේ ඉංග්‍රීසියෙන්. 

ඉතින් මේ මගේ උත්සාහය ඒ දැනුම  ඔයාලට සරල සිංහලෙන් ලබාදෙන්න.  එතනදි Early Childhood Education, Child Psychology, Parenting, Communication  වගේ ගොඩක් මාතෘකා ගැන  කතා කරනවා. 

ආහ්…  අමතක වෙන්න කලින්  මගේ YouTube, TikTok, Facebook page වලටත් like  කරන්න ආදරයෙන් ආරාධනා කරනවා. ඉතින් MATS  එක්ක එකතු වෙන්න, දැනුම අත්දැකීම් බෙදාගන්න.  දරුවා වෙනුවෙන් දරුවා ගැන ඉගෙන ගන්න! 

https://www.facebook.com/mathinkschool
https://youtube.com/@mathinkschoolsl
https://www.tiktok.com/@mathinkschool
https://www.facebook.com/groups/mathnikschool/

Share this:
error: Content is protected !!