මිස්ට පෙරේරාගේ පවුලේ ෂෙහාන්, සඳුනි, ශනිත්, සමාධි කියලා දරුවන් හතර දෙනෙක් හිටියා. පෙරේරා යුවළ දරුවන් එක්ක හොඳ සබඳතාවක් පවත්වාගෙන ගියා. ඔවුන් එක්ක හොඳි
මිස්ට පෙරේරාගේ පවුලේ ෂෙහාන්, සඳුනි, ශනිත්, සමාධි කියලා දරුවන් හතර දෙනෙක් හිටියා. පෙරේරා යුවළ දරුවන් එක්ක හොඳ සබඳතාවක් පවත්වාගෙන ගියා. ඔවුන් එක්ක හොඳින් අදහස් හුවමාරු කර ගත්තා. ඒ වගේම පෙරේරා යුවළ නිරන්තරයෙන් තම දරුවන් වෙනුවෙන් පෙනී සිටියා. ඒත් හදිසියේ ම මිස්ට පෙරේරා අසනීප වුණා. අසාධ්‍ය තත්ත්වයට පත් වුණු ඔහු ටික කලකින් මිය ගියා. මින්පසු පෙරේරා මහත්මියගේ ජීවිතය ඉතාම දුෂ්කර වුණා. මුළු දිනය පුරා ම වැඩ කරන අතර දරුවන්ගේ වැඩත් කරන්න වුණා. මේ සිදුවීම පෙරේරා පවුලේ දරුවන්ට විවිධ විදියට බලපෑවා.
පවුලේ වැඩිමලා වුණු ෂෙහාන්ට මෙය තදින් බලපෑවේ නැහැ. කුඩා අවධියේදී ලැබිය යුතු ආදරය, බැඳීම ඔහු මවගෙන් ලබලා තිබුණා. ඒ නිසා ඔහු දැනගෙන හිටිය අම්මා තමන් වෙනුවෙන් ඉන්න බව. එනිසා ඔහු විශ්වාසදායී හා සුබවාදී තරුණයකු ලෙස ජීවිතය ගොඩනගා ගත්තා.
වයස අවුරුදු තුනක් වුණු පවුලේ දෙවැනියා, සඳුනිට මෙය නරක විදියට බලපෑවා. මව සහ ඇය අතර හොඳ සබඳතාවක් තිබුණේ නැහැ. ඇයට නිතර මවගේ අවශ්‍යතාවය දැණුනා. අම්මගේ අවධානය ගන්න ඇය අඬමින් කෑගසන්නට පෙළඹුණා. අම්මා ඇය වෙත පැමිණි විටත් ඇය දෙගිඩියාවකින් සිටියා. එහිදී ඇය තමාගේ සබෑ ස්වරූපය සඟවන්නට පෙළඹුනා. පසු කාලයේදී අනෙක් අය ඇයව ගුප්ත සහ කනස්සලු චරිතයක් ලෙස සැළකුවා. එනිසා ඇය ජීවිතය කෙරෙහි අසුබවාදී ලෙස දකින කනස්සලු අයෙක් වුණා.
අවුරුදු දෙකක් වුණු තුන්වැනි දරුවා, ශනිත් ඔහුගේ මාමාගේ ඇසුරේ හැදී වැඩුණා. මාමා ඔහුට ඉතා ආදරය කළා. ඒත් ශනිත්ව හොඳින් ලොකු මහත් කරන්න නම් ඔහුට තදින් සැලකිය යුතු බව ඔහු සිතුවා. පුන්චි ශනිත් අඬන්නට හෝ කෑගසන්නට වුනොත් මාමා කේන්ති ගත් අතර ඇතැම් විට දඬුවම් කරන්නටත් පෙළඹුණා. ශනිත් මෙයින් බියට පත් වුණා. ඒ නිසා ඔහු තමන්ගේ සැබෑ හැඟීම් සඟවන්නට පුරුදු වුණා. එනිසා ඔහුට අන් අය සමග සබඳතා ගොඩනගා ගැනීම අපහසු වුණා. අන් අය ඔහුව අසුබවාදී අයෙකු ලෙස පිළිගැණුනා.
අවුරුද්දක් වුණු පවුලේ සිව්වන දරුවා, සමාධිව දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට යොමු කරන්න මිසිස් පෙරේරා ට සිද්ධ වුණා. ඒත් එහි හොඳ පුහුණුවක් ලැබූ සේවකයන් සිටියේ නැහැ. ඇතැම් සේවකයන් දරුවන්ට දරුණු ලෙස සැලකුවා. සමාධි බලාපොරොත්තු වු ආදරය රැකවරණය ඔවුන්ගෙන් ලැබුණේ නැහැ. ඇය නිතර බියෙන් කනස්සල්ලෙන් සිටි නිසා ඇය අන් අයගෙන් ඈත් වෙලා ඉන්න උත්සහ කළා. වැඩිහිටියකු වූ පසුවත් ඇය, තමන් ආදරය ලැබීමට නුසුදුසු අයෙකු යැයි සිතුවා. එනිසා ඇය සමාජයෙන් කොන් වී සිටියා.
ඔබ දන්නවද? කුඩා දරුවකු ඉපදී පළමු වසර කීපය තුළ ඔවුන් සමග සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම ඉතාම වැදගත්. ශක්තිමත් සම්බන්ධතාවයක් ඇති විට දරුවාට ආරක්ෂාරී බව තහවුරු වන අතර එය ආත්ම විශ්වාසය ගොඩනැගීමට හේතුවෙනවා. ඔබේ දරුවාත් ඔබට ඉතා සමීප නම්, එය ඔබේ දරුවාට අනාගතයේදී යහපත් ලෙස බලපානවා නොඅනුමානයි.
කුඩා අවධියේදී දරුවාට හොඳ ඇසුරක් නොලැබුණොත් ඔවුන්ට අනාරක්ෂිත බවක් ඇති වෙනවා. එනිසා ඔවුන් අලුත් දේවල් අත්හදා බලන්නට මැළිවෙනවා. ඔවුනට වරදක් සිදුවුවහොත් ඔවුන් වෙනුවෙන් කෙනෙක් සිටින බවට ඔවුනට විශ්වාසයක් නැහැ. ඒ නිසා ඔවුන් නිතර අවට ලෝකයට බියකින් ජීවත් වෙනවා.
කුඩා අවධියේදී හොඳ සම්බන්ධතාවක් ඇති විට දරුවන් පහසුවෙන් සබඳතා ගොඩනගා ගන්නා අතර ජීවිතය ද පහසුවෙන් සාර්ථක කර ගන්නවා. කුඩාකල එවැනි සම්බන්ධතාවක් නොලබන දරුවන් අනෙකා විශ්වාස කිරීමට මැලි වන අතර එනිසා ඔවුන් තුළ සමාජ කුසලතා අඩු වෙනවා.
කුඩා අවධියේදී ඇති වන සිත් රිදීම්, කනස්සල්ල ප්‍රකාශ කිරීමට දරුවන්ට හැකියාවක් නැහැ. ඒ නිසා මේ අවස්ථාවලදී දරුවන් දැඩි පීඩනයකට ලක් වනවා. එවිට සිරුරේ ඇඩ්‍රිනලීන් සහ කෝර්ටිසෝල් යන හෝර්මෝනයන් නිකුත් කරනවා. එයින් සිරුරේ හර්ද ස්පන්දනය සහ රුධිර පීඩනය වැඩි වනවා. නිතර මෙලෙස සිදුවීමෙන් මානසික ආතතිය ඇති වෙනවා. එය දරුවාගේ මොළයේ වර්ධනය ට අහිතකර ලෙස බලපාන අතර එයින් සිරුරේ ප්‍රතිශක්තිය ද අඩපණ කරනවා. කුඩා අවධියේදී ඇති වන මෙම ආතතිය වසර ගණනාවකට පසුවද සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන්න පුළුවන්.
ඒ නිසා දෙමුව්පියනි, දරුවා සමග ශක්තිමත් සම්බන්දතා ගොඩනගන්න. ඒ හරහා දරුවාගේ වගේම ඔබෙත් ජිවිත තවත් සුන්දර වේවි.
Author: Samuditha Fernando
Content Editor: Amali Samarakoon