HomeEducation

ඔබත් කුඩා දරුවෙක් සිටින මවක් පියෙක්ද? සමබර දරුවෙක් නිර්මාණය කිරීමේ රහස මෙන්න…

ඔබත් කුඩා දරුවෙක් සිටින මවක් පියෙක්ද? සමබර දරුවෙක් නිර්මාණය කිරීමේ රහස මෙන්න…

ඔයත් කුඩා දරුවෙක් ඉන්න මවක් නම්, පියෙක් නම් ඔයාගේ දරුවාගේ ශරීරය, දරුවාගේ වර්ධනය ගැන ඔයාට හොද අවබෝධයක් ඇති. නමුත් දෙමාපියන් සියයක් ගත්තොත් එයින් අතලොස

අවුරුදු පහක බබෙක් ගැන ඉගෙන ගමු
බැනලා දරුවෝ හදන්න පුළුවන්ද?
Bilingual වෙන එක හොදයිද? නරකයිද?

ඔයත් කුඩා දරුවෙක් ඉන්න මවක් නම්, පියෙක් නම් ඔයාගේ දරුවාගේ ශරීරය, දරුවාගේ වර්ධනය ගැන ඔයාට හොද අවබෝධයක් ඇති. නමුත් දෙමාපියන් සියයක් ගත්තොත් එයින් අතලොස්සක් වත් පිරිසකට තමන්ගේ දරුවාගේ මොළය ගැන, මොළයේ වර්ධනය ගැන කිසිම අවබෝධයක් නැහැ. මොළය කියන්නේ දරුවෙකුගේ අනාගතය තීරණය කරන මුළු ශරීරයම පාලනය කරන පාලක මධ්‍යස්ථානය කියල අපිට කියන්න පුළුවන්. ඉතින් මේ තරම් වටින මොළය ගැන අම්මා කෙනෙක් විදියට, තාත්තා කෙනෙක් විදියට ඔයාලා දැන ගන්න ඕන මොනවද? ඔයත් ඔයාගේ දරුවාගේ අනාගතය සාර්ථක එකක් කරන වෙහෙසෙන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නම් මේ ලිපිය වෙන් වෙන්නේ ඔයාටමයි.

මොළය කියන්නේ කොටස් කීපයක එකතුවක්. මොළයේ තියෙන මේ විවිධ කොටස් ඉටු කරන්නේ තමන්ටම වෙන් වුන ආවේණික කාර්යභාරයන්. තවත් සරලවම කිව්වොත් මොළයේ වම් අර්ධගෝලය එහෙමත් නැත්නම් වම් ප්‍රදේශයෙන් දරුවෙකුගේ තාර්කික බව, සිතුවිලි කළමණාකරණය, සැලසුම්කරණය වගේ දේවල් පාලනය වෙනවා. ඒවගේම තමයි දකුණු අර්ධගෝලය එහෙමත් නැතිනම් දකුණු ප්‍රදේශයෙන් පාලනය වෙන්නේ දරුවෙකුගේ හැගීම්, අත්දැකිම් වගේ වචන වලින් ප්‍රකාශ කරන්න අමාරු දේවල්. ඉතින් මේ විදියට මොළයේ තියෙන ඒ ඒ කොටස් වලින් මිනිස් ශරීරයට අත්‍යාවශ්‍ය කාර්‍යයන් ඉතා හොදින් පාලනය වෙනවා. මේ හැම කොටසකින්ම කරන කාර්‍යයන් එකිනෙක සමග සමපාත වෙනකොට දරුවෙකුගේ මොළය නිසියාකාරව ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් විදියට, ක්‍රිකට් කණ්ඩායමක ඉන්න ක්‍රීඩකයන් තනි තනිවම දක්ෂතා දක්වන්න ඕන වගේම කණ්ඩායමක් විදියට එකමුතුව එක ඒකකයක් විදියටත් ක්‍රියාත්මක වෙන්න ඕන. මොළයත් ඒ විදියමයි.

අපි හැමෝම දන්න විදියට කුඩා දරුවන්ට, තමන්ගේ මොළය නිසියාකාරව මෙහෙයවන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ නිසා තමයි වැඩිහිටියන් විදියට අපි එයාලව හරි දිශාව ඔස්සේ මෙහෙයවීම අත්‍යාවශ්‍ය වෙන්නේ. මොළය ගැන පර්‍යේෂණ කරන විද්වතුන් නිතරම මිනිස් මොළය ගැන මොළයේ ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යන කටයුතු වල නිරත වෙනවා. මෙන්න මෙහෙම කරපු අධ්‍යනයකදී හෙළි වුන කාරණයක් තමයි කෙනෙකුගේ මොළය බාහිර බලපෑමකින් වෙනස් කරන්න පුළුවන් කියන කාරණය. උදාහරණයක් විදියට කිව්වොත්, අපි හිතමු අපේ මොළය හැදිලා තියෙන්නේ මැටි වලින් කියල. ඔයාලා දන්නවා මැටි ගුළියකින් අපිට ඔනෑ තරම් නිර්මාණ කරන්න පුළුවන්. අපි කැමති හැඩයකට කැමති ස්වාභාවයකට මේ මැටි ගුළිය පත් කරන්න අපිට පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට කෙනෙකුගේ මොළය වෙනස් කරන්න පුළුවන් එකට බටහිර රටවල් වල කියන නම තමයි නියුරෝප්ලාස්ටිසිටි (neuroplasticity) කියන්නෙ.

කෙනෙකුගේ මොළය යම් ආකාරයකට වෙනස් කරන්න නම් අත්‍යාවශ්‍ය වෙන දේවල් මොනවද? එහෙම වෙනස් කරන්න අවශ්‍ය වෙන ප්‍රධානතම දේ තමයි අත්දැකීම් කියන්නේ. අපි සරලවම මෙහෙම හිතමු. මොළය කියන්නේ හරියට ගෙදරක් වගේ. එතකොට අපේ දරුවෝ දවසින් දවස එකතු කරගන්න අත්දැකීම් අපිට සමාන කරන්න පුළුවන් සිමෙන්ති වලට. සිමෙන්ති වලට ගඩොලින් ගඩොල එකතු කරලා බිත්තියක් බදින්න පුළුවන් වගේ තමයි දරුවන් දවසින් දවස ලබා ගන්න අත්දැකීම් වලින් එයාල දවසින් දවස තමන්ගේ ජිවීතය ගොඩ නගා ගන්නවා.

අපේ මොළය හැදිලා තියෙන්නේ අපිට ඇසට නොපෙනෙන නියුරෝන සෛල බිලියන සියයක එකතුවකින්.මේ නියුරෝන එකකට එකක් සම්බන්ධ විශාල, සංකීර්ණ ජාලයක් විදියට කටයුතු කරනවා. කෙනෙක් තමන්ගේ ජීවිතයට අලුත් අත්දැකීමක් ලබා ගන්න කොට ඒ අත්දැකීමට අදාල මොළයේ නියුරෝන වැඩ කරන්න පටන් ගන්නවා. යම් අත්දැකීමක් අපේ මොළයට නිතර නිතර ලැබෙනවා නම් ඒ අදාල නියුරෝන ඊට අදාලව ප්‍රතික්‍රියා කිරීම වඩාත් වේගයෙන්  සහ පහසුවෙන් සිදු වෙනවා.හරියට අපි නිතර නිතර ගමන් යන පාරක් වගේ. නමුත් අපි ඉද හිට යන පාරක් නම්? අපිට ඒ පාරේ වේගයෙන් පහසුවෙන් යන්න අමාරුයි. අන්න ඒ වගේම අපි ඉද හිට ලබන අත්දැකීම් මොළයේ නියුරෝන හරහා ගමන් කරන්නේ සෙමින් සහ අපහසුවෙන්.

ඉතින් දැන් ඔයාලට තේරුම් යනවා ඇති, ඔයා ඔයාගේ දරුවට නිතරම ප්‍රසංශා කරනවා නම්, දරුවා අගය කරනවා නම්, එයාට හොද ගතිගුණ පුරුදු පුහුණු කරනවා නම් අන්න ඒ අත්දැකීම් වලට අදාල නියුරෝන ඉතා හොදින් ක්‍රියාත්මක වෙලා දරුවාගේ මොළය සුබවාදීව පවත්වාගෙන යනවා කියන කාරණය. නමුත් ඔයා දිගින් දිගටම දරුවාට දෝෂාරෝපණය කරනවා නම්, දරුවා සිදු කරන වැරදි ගැනම කතා කරනවා නම්, නිතර දඩුවම් කරනවා නම් දරුවාගේ මනසේ උත්තේජනය වෙන්නේ සෘණාත්මක පැත්තට බර නියුරෝනයි. ඉතින් මෙන්න මේ කාරණය තමයි බටහිර විද්‍යාඥයන්  නියුරෝප්ලාස්ටිසිටි කියන සංකල්පය ඔස්සේ පැහැදිලි කරන්න කටයුතු කලේ.

ඒවගේම තමයි කෙනෙකුගේ මොළය උපතේ සිට මරණය දක්වාම එකම විදියට පවතින්නේ නැහැ. අපි ලබන අත්දැකීම් අනුව වගේම ජාන නිසාත් මොළයේ ස්වභාවය විවිධාකාර වෙනස්වීම් වලට ලක් වෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් නම් ඔයාගේ දරුවා එක්ක හොද සම්බන්ධතාවයක් ගොඩ නගා ගෙන, දරුවාට අවශ්‍ය හොද අත්දැකීම් නිර්මාණය කරලා දෙන්න ඔයාගේ දරුවාගේ අනාගතය සාර්ථක කරගන්න ගමන ඔයාට ඒ තරම් අමාරු වෙන්නේ නැහැ. නිතරම දරුවා සමග සංවේදි කතා බස් වල නිරත වෙන්න. සමාව ගැනීම, සමාව දීම, ස්තූති කිරීම, වැරදි නිවරදි කිරීම වගේ යහපත් පුරුදු නිතරම දරුවාට පුරුදු කරන්න. ඒ තුලින් සංවේදි, සාර්ථක දරුවෙක් නිර්මාණය කරගන්නට ඔබට පුළුවන්.

Author: Ishanka Abeysinghe
Content Editor: Amali Samarakoon

Share this:
error: Content is protected !!
×