ජාතික නිදහස් දිනය කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී...ශ්‍රී ලාංකාව අධිරාජ්‍යවාදී හස්තයෙන් මිදුණු අභිමානවත් 77 වැනි නිදහස් දිනය අදට (04) යෙදී තිබේ
ජාතික නිදහස් දිනය කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී…
ශ්‍රී ලාංකාව අධිරාජ්‍යවාදී හස්තයෙන් මිදුණු අභිමානවත් 77 වැනි නිදහස් දිනය අදට (04) යෙදී තිබේ.
මෙවර නිදහස් දින තේමාව “ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” වන අතර 77 වැනි ජාතික නිදහස් දිනය කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානවත්ව හා චාම් අයුරින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වේ.
මෙවර නිදහස් දින සැමරුම් උළෙල උත්කර්ෂවත්ව හා අවම වියදමකින් පැවැත්වීමට රජය තීරණය කර ඇති අතර මහජන සහභාගීත්වය වැඩි අයුරින් උළෙල පැවැත්වීමට සැලසුම් කර තිබේ.
පසුගිය වසරේ ගාලු මුවදොර පැවති නිදහස් දින උලෙළට රුපියල් මිලියන 200ක මුදලක් වැය කර ඇත. මෙවර විශේෂත්වය වන්නේ එම වියදම රුපියල් මිලියන 87ක් දක්වා අඩුකර තිබීම වන අතර නිදහස් දින සැමරුම් පෙළපාළියේ සංයුතිය ද මෙවර වෙනසකට භාජනය කරමින් මින් පෙර යොදාගත් හමුදා සංයුතිය සියයට 40කින් අඩු කර තිබේ.
ඒ අනුව හමුදා සාමාජිකයන් 1873ක් පමණක් මෙවර සහභාගි කරවා ගැනීමට නියමිත අතර ගිය වසරේදී පෙළපාළිය සඳහා 3384 දෙනකු සහභාගි කරවා ගෙන ඇත. එමෙන්ම මෙවර නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ යොදා නොගැනීමට තීරණය කර ඇත.
නාවික හමුදාව විසින් සාම්ප්‍රදායිකව පවත්වන ආචාර වෙඩි මුර 25 ද මෙවරද පවත්වනු ලැබේ. පසුගිය වසරේ භාවිත කළ ගුවන් යානා 19න් මෙවර ගුවන් යානා 3ක් පමණක් යොදා ගැනීමට ද සැලසුම් කර ඇත.
සාම්ප්‍රදායිකව නිදහස් දින දහවල් 12.00ට මුහුදේ නෞකාවක් තුළ නාවික හමුදාව විසින් පවත්වනු ලබන වෙඩි මුර 25ක් තැබීම මෙවර ද සිදුවේ.
නව දේශපාලන සංස්කෘතියක් සහ නව ප්‍රවේශයක් මේ රටට අවශ්‍ය බව කියමින් පසුගිය සමයේ බහුතර ජනතාව පෙළගැසුණු බවත්, එම පෙළගැසුණු ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරමින් මෙවර නිදහස් උලෙළ පැවැත්වෙන බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ.එච්.එම්. අබයරත්න මහතා පවසයි. මේ රටේ සියලු පුරවැසියන්ට සමානව සලකන සිංහල, දමිළ ඇතුළු සියලු ප්‍රජාව සහෝදරත්වයෙන් කටයුතු කරන සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමට 77 වන නිදහස් උලෙළ උපයෝගී කර ගන්නා බව ද ඒ මහතා කියයි.