ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) පස්වරුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නිල නිවස වන හයිද්‍රාබාද් මැදුරේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ සාක
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) පස්වරුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නිල නිවස වන හයිද්‍රාබාද් මැදුරේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ සාකච්ඡාවක නිරත වීය. ඉන් අනතුරුව ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ ශක්‍යතා වර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම් ඉන්දු – ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින් ඉදිරියේ හුවමාරු කෙරිණි. ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමිව ඇති බව හොඳින් දන්නා බව ජනාධිපතිතුමා ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී සිහිපත් කළෙය.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කියා සිටියේ, ජනාධිපති දිසානායක මහතා, පළමු විදෙස් සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම පිළිබඳ සතුටු වන බවය. අනාගතවාදී දැක්මකින් දෙරට අතර සබඳතාවයට නව මුහුණුවරක් දෙමින් භෞතික, ඩිජිටල් සහ බලශක්ති යන කුළුණු තුන ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට තාක්ෂණික සහාය දැක්වීමට ද දෙරට අතර විදුලිබල ජාල සම්බන්ධතාවය සහ බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ අවධානය යොමු විය.
ඉන්දීය සංවර්ධන සහයෝගීතාව ඉදිරියට ගෙන යමින් අනුරාධපුර දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය සහ කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආධාර ලබාදීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ඉන්දීය අධ්‍යාපන සහයෝගිතාව යටතේ ලබන වසරේ සිට යාපනයේ සහ නැගෙනහිර පළාතේ විශ්වවිද්‍යාලවල සිසුන් 200කට මාසික ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතය. ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ සිවිල් සේවකයන් 1500ක් ඉන්දියාවේදී පුහුණුව ලබාදීමට ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කැමැත්ත පළ කළේය.
එසේම නිවාස, පුනර්ජනනීය බලශක්තිය සහ යටිතල පහසුකම් සමඟ, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, කිරි කර්මාන්තය සහ ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා ඉන්දියාව සහයෝගීතාවයෙන් කටයුතු කරනු ඇත. ඉන්දියාවේ ආරක්ෂාවට සහ කලාපයේ ස්ථාවරත්වයට හානි වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට කිසි විටෙකත් ඉඩ ලබා නොදෙන බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළෙය.


ආරක්ෂක සහයෝගිතාව (Colombo Security Conclave) යටතේ සමුද්‍ර ආරක්‍ෂාව, ත්‍රස්තවාදය පිටුදැකීම, සයිබර් ආරක්‍ෂාව, ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීම, මානුෂීය ආධාර සහ ආපදා සහන වැනි විෂයයන් සම්බන්ධයෙන් සහයෝගීතාව වැඩි දියුණු කිරීමට මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවිය.
ජනාධිපතිතුමා මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙසද ආරාධනා කළෙය.