HomeHealth

ඕටිසම් Autism ගැන ඔබ දන්නවද?

ඕටිසම් Autism ගැන ඔබ දන්නවද?

ඕටිසම් කියන්නේ මොළයේ වර්ධනයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් ඇති වන තත්ත්වයක්. ඕටිසම් වල ලක්ෂණ මුල් ළමා වියේදීම ඒ කියන්නේ ළදරු අවධියේදී ම පෙන්නුම් කරන්න පුළ

අවුරුදු 1 – 2 අතර පොඩ්ඩෙකුගේ සිදුවෙන වෙනස්වීම් ඉගෙන ගමු.
දෙමාපියභාවය PARENTING ගැන කතා කරමු…
අවුරුදු පහක බබෙක් ගැන ඉගෙන ගමු

ඕටිසම් කියන්නේ මොළයේ වර්ධනයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් ඇති වන තත්ත්වයක්. ඕටිසම් වල ලක්ෂණ මුල් ළමා වියේදීම ඒ කියන්නේ ළදරු අවධියේදී ම පෙන්නුම් කරන්න පුළුවන්. ඒත් බොහෝ අවස්ථාවල නොදැනුවත්කම හෝ නොසැලකිල්ල නිසා ඕටිසම් තත්ත්වය ඇති දරුවකු බොහෝ කල්ගතවන තුරුත් හඳුනා ගැනීමට නොහැකි වෙනවා. වාර්තා අනුව සෑම දරුවන් සිය දෙනෙකුගෙන් ම එක් අයෙක් ඕටිසම් සහිත අයෙක් බව හඳුනාගෙන තියෙනවා.

ඕටිසම් හඳුනා ගන්නේ කොහොමද?

ඕටිසම් සහිත දරුවෙකු හඳුනා ගත හැකි ප්‍රධාන ලක්ෂණ කිහිපයක් ම තියෙනවා. සමාජයේ අනෙක් අය සමග ක්‍රියාකාරී නොවීම සහ සන්නිවේදනය කිරීමේ දුර්වලතා ආදිය ඒ අතරින් ප්‍රධාන වෙනවා. ඊට අමතරව එක් වැඩක සිට තවත් වැඩකට මාරු වීමට ඇති අපහසුතාව, සංවේදන වලට අසාමාන්‍ය ප්‍රතිචාර දැක්වීම වැනි අසාමාන්‍ය ක්‍රියාකාරකම් සහ හැසිරීම් ආදිය ද මෙහි ලක්ෂණ ලෙස හඳුනා ගන පුළුවන්.

ඕටිසම් සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා සහ හැකියා එක් එක් පුද්ගලයා අනුව වෙනස් වෙනවා. ඇතම් ඕටිසම් සහිත පුද්ගලයන්ට තනිවම ජීවත් වෙන්න පුළුවන් වුනත් ඇතැම් අයට ජීවිත කාලය පුරාම වෙනත් කෙනෙකුගේ සහය අවශ්‍ය වෙනවා. ඔවුන්ට තනිවම තමන්ගේ කටයුතු කර ගත නොහැකි වීම නිසා ඔවුන්ව රැක බලා ගැනීමට වෙනම කෙනෙක් අවශ්‍ය වෙනවා. ඕටිසම් තත්ත්වය පුද්ගලයාගේ අධ්‍යාපනය සහ රැකියාව සඳහා දැඩි ලෙස බලපාන්න පුළුවන්. ඒ වගේම ඕටිසම් සහිත කෙනෙක් සිටින පවුලකටත් ඔවුන්ව රැක බලා ගැනීම සඳහා වෙන ම අවධානයක් දෙන්න වෙනවා.

ඕටිසම් සහිත පුද්ගලයන්ගේ බුද්ධිය අඩු ද?

ඕටිසම් සහිත පුද්ගලයන්ගේ බුද්ධි මට්ටම ද එකිනෙකාට වෙනස් වෙනවා. කෙනෙකුට ඉතා පහළ බුද්ධිමය හැකියාවක් තිබුණත් තවත් කෙනෙකුට ඉතා ඉහළ බුද්ධි මට්ටමක් තියෙන්න පුළුවන්. ඇතැම් අවස්ථාවල සාමාන්‍ය පුද්ගලයන්ටත් වඩා ඔවුන්ගේ බුද්ධි මට්ටම වැඩි වෙන්න පුළුවන්.ඒ කොහොම වුනත් ප්‍රතිශතයක් ලෙස ඕටිසම් සහිත පුද්ගලයන්ගෙන් 50% කට පමණ බුද්ධිමය හැකියාව අවම මට්ටමක තියෙන බව පර්‍යේෂණ මගින් හෙළි වී තිබෙනවා.

ඕටිසම් සහිත දරුවෙකු හඳුනගන්න පුළුවන් කොයි වයසේදී ද?

මේක ගොඩක් අයට තියන ගැටළුවක්. සාමාන්‍යයෙන් ඕටිසම් සහිත දරුවකු මාස 12 ට පෙර හඳුනාගැනීම තරමක් අපහසුයි. ඒත් වයස අවුරුදු 02ක් පමණ වන විට මෙම තත්ත්වය හඳුනා ගන්න පුළුවන්. මුල් අවධියේදී කතා කිරීමේ අපහසුතා සහ වෙනස්කම්, එක ම ක්‍රියාකාරකම් නැවත නැවත කිරීම, සන්නිවේදන දුර්වලතා වගේ ලක්ෂණ තුළින් මේ තත්ත්වය හඳුනා ගන්න පුළුවන්.

ඕටිසම් සහිත දරුවෙකුට දෙමාපියන් හෝ රැකබලා ගන්නා කෙනෙකු ලෙස ඔබ උදව් වෙන්නේ කොහොමද?

මෙවැනි දරුවකු වෙනුවෙන් ඔබට කළ හැකි දෑ බෝහෝමයි. පළමුවෙන් ම ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය, අධ්‍යාපනය ආදිය නිසි පරිදි සිදුවන බවට ඔබ තහවුරු කළ යුතුයි. ඒ වගේම දරුවා වර්ධනය වනවිට ඊට ගැළපෙන උත්තේජනයන් ලැබෙන ලෙස පරිසරය සකස් කළ යුතුයි. ඒ වගේම ඕටිසම් සහිත දරුවන් සමග කටයුතු කළ යුත්තේ කෙසෙදැයි මනා පුහුණුවක් ලැබූ සෞඛ්‍ය සේවකයන්ගෙන් සහය ලබා ගැනීමත් වැදගත්. ඔවුන් විසින් විවිධ අවධිවල දරුවන් සමග කටයුතු කළ යුතු ආකාරය අනුව ඔබට ද උපදෙස් ලබා දේවී. ඒ වගේම ඕටිසම් සහිත දරුවන් සඳහා ඇති අධ්‍යාපන ආයතන වෙත දරුවා යොමු කිරීමෙන් ද දරුවාගේ අනාගතයට හොඳ අඩිතාලමක් සපයා ගත හැකියි.

ඕටිසම් වලට හේතුව කුමක් ද?

විද්‍යාත්මක සාක්ෂි අනුව ඕටිසම් ඇති වීම සඳහා බලපාන හේතු සාධක කිහිපයක් ම තියනවා. ප්‍රධාන වශයෙන් ජානමය හේතු, පාරිසරික සාධක ආදිය මෙයට හේතු ලෙස දක්වනවා. මේ සාධක මගින් මුල් ළමා වියේදී මොළයේ වර්ධනයට බලපෑම් සිදුවනවා.

ළදරු එන්නත්කරණය ඕටිසම් වලට හේතුවක් ද?

විද්‍යාත්මක සාක්ෂි අනුව ළදරු එන්නත්කරණය සහ ඕටිසම් අතර කිසිදු සම්බන්ධයක් ඇති බවට හෙළි වී නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ද මේ පිළිබඳ අවධානය යොමු කරමින් කිසිදු ළදරු එන්නතක් ඕටිසම් තත්ත්වය ඇති වීමට හේතුවක් නොවන බවට ප්‍රකාශයට පත් කර ඇත.

ළදරුවන් ගැන ඉතා සැලකිල්ලෙන් අවධානය යොමු කර විමසිලිමත් වුනොත් මෙම තත්ත්වය කල් තියාම හඳුනා ගන්න පුළුවන් වේවි. එතකොට අවශ්‍ය ප්‍රතිකාර හා ක්‍රියාමාර්ග අනුගමනය කරලා ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරන්න පුළුවන් වේවි.

Author: Samuditha Fernando
Content Editor: Amali Samarakoon

Share this:
error: Content is protected !!