ගිනිකොන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කර ගිනිකොන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වී ඉන් අනතුරුව ගිනිකොන දෙසින් සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දරුණු කුණාටුවක් දක්වා ඉදිරි දින කිහිපය තුල වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සුළි කුණාටුව හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වේ.
උතුරු පළාතේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර දිවයින පුරා, විශේෂයෙන් අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පැයට කිලෝමීටර 45 දක්වා තද සුළං බලාපොරොත්තු විය හැක. එබැවින් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික, තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
නැවත දැනුම් දෙන තුරු මුහුදු ප්‍රදේශවලට නොයන ලෙස නාවික සහ බහුදින ධීවර ප්‍රජාවන්ට උපදෙස් දෙනු ලැබේ. මේ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.