HomeNewsSri Lankan News

ශ්‍රී ලංකා පිල ටෙස්ට් පිටියේ වාර්තා අලුත් කරයි

ශ්‍රී ලංකා පිල ටෙස්ට් පිටියේ වාර්තා අලුත් කරයි

වසර 42ක සිය ටෙස්ට් තරග ඉතිහාසයේදී ඊයේ දුර්වලම පිතිහරඹයක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වාර්තා රැසකට දායක වෙමින් දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 42කට දැ

නවසීලන්තයට එරෙහි ති්‍යුණු තරඟයකින් ඕස්ට්‍රේලියාවට ජය
“ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් තොර පොදු අවකාශයක් සැමට අවශ්‍යයි” -අගමැති ආචාර්ය හරිනි අමරසූරිය
නවසීලන්තයේ 2023 මාධ්‍ය පරිභෝජන ප්‍රවණතාවන් ගැන අනාවරණයක්

වසර 42ක සිය ටෙස්ට් තරග ඉතිහාසයේදී ඊයේ දුර්වලම පිතිහරඹයක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වාර්තා රැසකට දායක වෙමින් දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 42කට දැවී ගියහ.

මෙය ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව වූ අතර, මින් පෙර 1994 වසරේ මහනුවර අස්ගිරියේදී පාකිස්තානය හමුවේ ලකුණු 71කට දැවී යෑම අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වී තිබිණි. ලෝක ටෙස්ට් ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය 6 වැනි අඩුම ලකුණු සංඛ්‍යාව මෙයයි.

ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 6ක් වෙද්දී කඩුලු වැටීම ආරම්භ වූ අතර, පිතිකරුවන් 5 දෙනකුම ලකුණු නොලබා දැවී ගියහ. කමිඳු මෙන්ඩිස් ලකුණු 13ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, ඔහු හැර ලකුණු 10 සීමාවට පිවිසීමට හැකි වූයේ ළහිරු කුමාරට (10) පමණි.

දකුණු අප්‍රිකානු නායකයා ශ්‍රී ලංකා පිතිකරුවන් දමනය කිරීමට වේග පන්දු යවන්නන් තිදෙනකු පමණක් යොදාගත් අතර, සිය ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කළ මාර්කෝ ජැන්සෙන් ප්‍රමුඛ පන්දු යවන්නන් ඉනිම ඕවර 13.5කට සීමා කළහ. එය ලෝක ටෙස්ට් වාර්තා අතරට එක් වූයේ වසර 100කට පසු කණ්ඩායමක් ඉනිමකදී යැවූ අඩුම පන්දු සංඛ්‍යාව ලෙසිනි. ශ්‍රී ලංකා පිල පන්දු 83කට මුහුණ දුන් අතර, එය දෙවැනි වන්නේ 1924දී එංගලන්තය හමුවේ බර්මින්හැම්හිදී දකුණු අප්‍රිකානු පිල මුහුණු දුන් ඕවර 12.3 (පන්දු 75) පමණි.

මේ තරගය පැවැත්වෙන කිංග්ස්මිඩ් පිටියේදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව මෙය වන අතර, දකුණු අප්‍රිකානු පිල ටෙස්ට් තරගයකදී කණ්ඩායමක් දවාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ද විය. මින් පෙර 2013දී නවසීලන්ත පිල ලකුණු 45කට දැවී යෑම දකුණු අප්‍රිකාව හමුවේ රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව විය.

ජැන්සෙන් ලකුණු 13කට සිය කඩුලු 7 දවාගත් අතර, මින් පෙර ලකුණු 35කට කඩුලු 5ක් දවා ගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීම විය. ජෙරල්ඩ් කෝට්සි කඩුලු 2ක් සහ කගීසෝ රබාඩා කඩුල්ලක් දවා ගත්හ.

දකුණු අප්‍රිකාව පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 191ක් රැස් කළ අතර, ඒ අනුව ඔවුන්ට පළමු ඉනිමෙන් ලකුණු 149ක වාසියක් අත්විය.

Share this:
error: Content is protected !!
×