අපි ජීවත් වෙන මේ ලෝකය වගේම වටපිටාව සතුට දුක අතර දෝලනය වෙන එකක්. ඒ වගේම තමයි ජීවිතය කියන්නෙත් අපිට සදාකාලික දුකක් හෝ සදාකාලික සතුටක් හිමි වෙන තැනක් නෙ
අපි ජීවත් වෙන මේ ලෝකය වගේම වටපිටාව සතුට දුක අතර දෝලනය වෙන එකක්. ඒ වගේම තමයි ජීවිතය කියන්නෙත් අපිට සදාකාලික දුකක් හෝ සදාකාලික සතුටක් හිමි වෙන තැනක් නෙමෙයි. කලින් කිව්වා වගේම දුක් කරදර, වේදනා වගේම සතුට සැනසීමත් අපිට කාලයත් එක්කම හිමි වෙනවා. ඉතින් මෙහෙම ගලාගෙන යන ජිවීතයේ සමහරක් තැන් වල, ජීවිතය එපා වුන තව දුරටත් ජීවත් වීම අනවශ්‍යයි කියල හිතෙන දවස් අපේ ජිවිතයේ තියෙන්න පුළුවන්. මේ හැගීම අපේ ජිවිත කාලය තුලදී එක් වතාවක් හරි අපි හැමෝම අත් විදලා තියෙනවා. මේ හැගීම ප්‍රබල වුන අවස්ථාවකදී කෙනෙක් තමන්ගේ ජිවීතය හානි කර ගැනීමට පවා පෙළබෙන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ සිය දිවි හානි කර ගැනීම පිළිබදවයි. තවත් පැහැදිලිව කිව්වොත්, සියදිවි හානි කර ගැනීම ගැන අද සමාජයේ විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන මිත්‍යා මත ගැනයි අපි අද කතා කරන්න යන්නේ.
අංක එක
සියදිවි නසා ගැනීම ගැන කතිකාවතක් නිර්මාණය කිරීම එහෙමත් නැතිනම් ඒ ගැන කතා කිරීම නිසා සියදිවි නසා ගැනීම් වැඩි වෙනවා කියන කාරණය විශාල පිරිසක් විශ්වාස කරනවා. නමුත් මෙය සම්පූර්ණයෙන්ම මිත්‍යා මතයක්. මනෝ විද්‍යාඥයන් වගේම පර්යේෂකයින් පෙන්වා දෙන විදියට සියදිවි නසා ගැනීමේ සිතුවිල්ලක් සහිත කෙනෙක් සමග ඒ ගැන කතා කිරීම එම පුද්ගලයා එම අදහසින් මුදවා ගැනීමට ඇති හොදම ක්‍රමයයි.
අංක දෙක
“මැරෙන අය කිය කිය මැරෙන්නෙ නැහැ.” මේ කතාව ඔයා එක වතාවක් හරි අහල ඇති. නමුත් පර්යේෂණ වාර්තා වලට අනුව සියදිවි නසා ගන්නා පිරිසෙන් සියයට 60 – 70 ත් අතර පිරිසක් සිය දිවි නසා ගැනීමට පෙර තමන් සියදිවි නසා ගැනීමට සූදානමින් සිටින බව සෘජුවම හෝ වක්‍රව අනිත් අය සමග පවසන බව හෙළි වී තිබෙනවා. ඉතින් මේ නිසා යම් පුද්ගලයෙක් එවැනි ප්‍රකාශයක් සිදු කලහොත් ඒ ගැන සැලකිලිමත් වී ඔවුන්ට සහයක් ලබා දීම, ඔවුන් සමග කතා බස් කිරීම අවට සමාජයේ වගකීම සහ යුතුකමක් වෙනවා.
අංක තුන
සියදිවි නසාගන්නා පුද්ගලයෙක් තමන්ගේ ජිවීතය නැති කරගන්නේ තමන්ගේ ජිවිතය නැති කර ගැනීමේ එකම අරමුනෙන් නෙමෙයි. නමුත් බොහොමයක් දෙනා විශ්වාස කරන්නේ සියදිවි හානි කරගන්නා පුද්ගලයෙකුගේ එකම අරමුන තමන්ගේ ජිවීතය නැති කර ගැනීම පමණක් බවයි. බොහෝ වෙලාවට සියදිවි හානි කරගන්නා කෙනෙක් එසේ සිදු කරන්නේ තමන් මුහුණ දී සිටින ප්‍රශ්ණයට, අභියෝගයට මුහුණ දිමට තව දුරටත් ශක්තිය නොමැති වීම නිසායි. ඒවගේම අන් අයගේ අවධානය ලබා ගැනීමත් සිය දිවි නසා ගන්නා කෙනෙකුගේ අරමුණක් වන්නට පුළුවන්.
අංක හතර
සියදිවි නසා ගැනීමේ සිතුවිලි පිළිබදවත් බොහෝ දෙනෙක් තුල මිත්‍යා මත පවතිනවා. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ නසා ගැනීමේ සිතුවිලි ඇති වන බහුතරයක් තමන්ගේ ජිවිතය සියදිවි නසා ගැනීමකින්ම කෙළවර කරගන්නා බවයි. ඒ වගේම කෙනෙක් සියදිවි නසා ගැනීමට උත්සාහ කලහොත් එම පුද්ගලයා අනිවාර්යෙන්ම සියදිවි නසා ගන්නා බවටත් මතයක් සමාජය තුල පවතිනවා. නමුත් පර්යේෂණ වලින් හෙළි වී තිබෙන්නේ මෙම සිතුවිලි සහ උත්සාහයන් ගෙන් බහුතරය තාවකාලික ඒවා පමණක් බවයි. නමුත් සිතුවිල්ලකින් පමණක් නොනැවතී පීඩනකාරී මානසික තත්වයන් යටතේ දිගින් දිගටම පීඩා විදින සුළුතරයක් පිරිස කණගාටුදායක ලෙස සියදිවි නසාගැනීමකින් තමන්ගේ ජිවීතය අවසන් කර ගැනීමේ ඉඩකඩක්ද පවතිනවා.
අංක පහ
සමාජයේ මුල් බැසගෙන තිබෙන තවත් එක් මිත්‍යා මතයක් වන්නේ කෙනෙක් සියදිවි නසා ගැනීම සදහා ක්‍රමයක් සොයාගෙන, ඒ සදහා අවශ්‍ය උපකරණ සපයා ගෙන තමන්ගේ මනස ස්ථීර කරගත් පසු එම ප්රයත්නය වැලැක්විය නොහැකි එකක් බවයි. නමුත් කෙනෙකුගේ මනස තුල සිය දිවි නසා ගැනීමේ ප්‍රබල උවමනාවක් පවතින්නේ පැය 24 – 48 ත් අතර කාලයක් තුලදී බව පර්යේෂණ වලින් තහවුරු වී තිබෙනවා. එම කාලය තුලදී මෙන්ම ඉන් පසුවත් එම පුද්ගලයා අසල රැදෙමින් අවශ්‍ය රැකවරණය සහ ආදරය ලබා දීම තුලින් තවත් පුද්ගලයෙකුගේ වටිනා ජීවිතයක් රැක ගැනීමේ හැකියාව අපිට තිබෙනවා.
අංක හය
අපි කලින් කතා කලා වගේම අපේ ජිවීතය තුල ලබන නීරස කටුක අත් දැකීම් නිසා ඔනෑම කෙනෙකුට එක වරක් හෝ තමන්ගේ ජීවිතය එපා වූ හැගීමක් ඇති වෙන්නට පුලුවන්. මෙවැනි හැගීමක්, සියදිවි නසා ගැනීමේ සිතුවිල්ලක් ඇති වන සියළුම පුද්ගලයන් මානසික රෝගීන් ලෙස හැදින්වීමට බහුතරයක් පිරිස කටයුතු කරනවා. නමුත් එම කාරණයත් බොහෝ දෙනෙක් දරන මිත්‍යා මතයක් පමණයි.
අංක හත
සියදිවි නසා ගැනීම් පිළිබදව සමාජය තුල මුල් බැසගෙන තිබෙන තවත් එක් කාරණයක් වන්නේ පවුලේ සාමාජිකයෙක් සියදිවි නසා ගෙන මිය ගියේ නම් පවුලේ තවත් පුද්ගලයෙක් හෝ කිහිප දෙනෙක් ඒ ආකාරයටම කටයුතු කරාවි යන මතයයි. නමුත් ජාන නිසා හෝ ආරය නිසා සියදිවි නසා ගැනීමේ සිතුවිල්ලක් කෙනෙකුට ඇති වන්නේ නැහැ. එය සම්පූර්ණයෙන්ම එම පුද්ගලයාගේ මනසේ ඇති වන ව්‍යාකූලත්වය නිසා ඇතිවන තත්වයක් පමණයි.
ඉතින් අපි කලින් සදහන් කලා වගේම සියදිවි නසා ගැනීමේ සිතුවිල්ලක් දුප්පත්, පොහොසත්, බාල මහළු බේදයකින් තොරව ඔනෑම පුද්ගලයෙකුට ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම ජීවිතයේදී ඕනෑම අවස්ථාවක මේ සිතුවිලි ඇතිවෙන්න පුළුවන්. එවන් විටක උදව් කරන්න ආයතන, පුද්ගලයන් සැදී පැහැදී ඉන්නවා. ඒ නිසාම ඒ අය වෙතට යන්න, උදව් ඉල්ලන්න පැකිලෙන්න එපා.
ඔයාලට ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සමග සම්බන්ද වෙන්න පුළුවන් දුරකථන අංක, email ලිපිනය, වෙබ් පිටුව 0707 308 308 0767 520 620 0112 682 535 slssumithrayo@gmail.com
https://srilankasumithrayo.lk/ ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – මිත්‍රත්වයට එහා යමක්…
NZ Help contact details: https://mentalhealth.org.nz/helplines
Need to talk? Free call or text 1737 any time for support from a trained counsellor
Lifeline – 0800 543 354 (0800 LIFELINE) or free text 4357 (HELP)
Suicide Crisis Helpline – 0508 828 865 (0508 TAUTOKO)
Healthline – 0800 611 116
Samaritans – 0800 726 666
Author: Ishanka Abeysinghe
Content Editor: Amali Samarakoon